කාරුණික දැන්වීමයි

එක්සත් රාජධානියේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල මේ දිනවල සංසරණය වන පුවතක්  සම්බන්ධව අපගේ අවධානය යොමුව ඇත.

එහි සඳහන් කරුණු සියල්ලම සත්‍යයෙන් තොර, පදනම් විරහිත, නිසි සොයා බැලීමකින් තොරව සහ ද්වේශ සහගත අරමුණින්  සිදුකරන ලද අභූත චෝදනා වේ.

ශ්‍රී ලංකාවේ පිහිටි බොහෝ රජයේ කාර්යාලවලින් මෙන්ම විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින්  සිය සේවා ලබා ගැනීම පිණිස  ගෙවිය යුතු ගාස්තු මුදලින් පමණක් ගෙවිය යුතු බව සත්‍යයකි. එහෙත් ඒ වෙනුවෙන් නිසි ලදු පතක් නිකුත් කරන  අතර මෙම මහ කොමසාරිස් කාර්යාලයට කරන ගෙවීම් වල ලදු පතේ  පිටපතක් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයට යවනු ලැබේ. මෙම මුදල් ලැබීම් ඇතුළු විදේශ දූත මණ්ඩලවල ගිණුම්  විදේශ අමාත්‍යංශයේ විගණන අංශය මගින් මෙන්ම විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් විගණනයට ලක් කරනු ලැබේ.

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට කොන්සියුලර් සේවා සඳහා පැමිණෙන අයගේ පහසුව පිණිස කාඩ්  පත් මගින් ගෙවීමේ පහසුකම ලබා දීමට 2020 වසරේ ජුනි මස  සිට උත්සාහ  ගෙන ඇතත්  මෙම මහ කොමසාරිස් කාර්යාලය  විදේශ දූත මණ්ඩලයක් වීම හේතුව මත එක්සත් රාජධානියේ  සමාගමක් ලෙස හෝ වෙනත් ආයතනයක්  ලෙස සංස්ථාපිත කර නොමැති බැවින් කාඩ්  පත් මගින් ගෙවීමේ පහසුකම ලබා දීමට මහ කොමසාරිස් කාර්යාලය සමග ගිවිසුමකට එළඹීමට නොහැකි බව  එක්සත් රාජධානියේ බැංකු කීපයක්ම දන්වා ඇත. කෙසේ වුවත් එම උත්සාහය තවමත් අතහැර නොමැත.

එසේම විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් කොන්සියුලර් සේවා සඳහා අයකරනු ලබන ගාස්තු ශ්‍රී ලංකා රුපියල් වලින් නොව විදේශ මුදලින්, එනම් ඇමෙරිකානු ඩොලර් (US$),  යුරෝ(€) සහ බ්‍රිතාන්‍ය පවුම් ( £) වලින්  නිර්ණය  කෙරෙන අතර  එය දූත මණ්ඩල මගින් නොව 1981 අංක 4 දරන කොන්සියුලර් පනත අනුව විදේශ කටයුතු අමාත්යවරයාගේ අත්සනින් නිකුත් කරන ගැසට් පත්රයක් මගින්  සිදු කෙරේ. අවසාන වතාවට ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින්  කොන්සියුලර් සේවා සඳහා අයකරනු ලබන ගාස්තු සංශෝධනය කරන ලද්දේ 2018 පෙබරවාරි මස 09 වන දින නිකුත් කරන ලද අංක 2057/35 දරන ශ්රී ලංකා ප්රජාතාන්ත්රික  සමාජවාදී ජනරජයේ අති  විශේෂ ගැසට් පත්රයෙනි. ඒ අනුව වසර 2018න්  පසුව මෙම  ගාස්තු සංශෝධනය කර නොමැත.

මහ  කොමසාරිස්  තනතුර වෙනුවෙන් ලබා දී ඇති නිල රථය වෙනුවෙන් අධික මුදලක් ගෙවා විශේෂ ලියාපදිංචි අංකයක් ලබාගෙන ඇතැයි යන චෝදනාවද සම්පුර්ණයෙන්ම අසත්‍යයකි.  එක්සත් රාජධානියේ පිහිටි   විදේශ දූත මණ්ඩල ප්‍රධානීන්ගේ නිල රථ වල ලියාපදිංචි අංකය තීරණය කරනු ලබන්නේ එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේ සන්ධාන අංශය මගින් වන අතර එම අංකය ලබා දීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. ශ්‍රී ලංකාව ඇතුළුව ලොව සියලු රටවල් තම රටෙහි පිහිටි විදේශ දූත මණ්ඩල වල වාහන ලියාපදිංචි කිරීමේදී මීට සමාන ක්‍රමවේදයක් අනුගමනය කරයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩනය